අධ්‍යාපනය විභාග මුලික ක්‍රමයෙන් මිදවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි

0
10

ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන හා ඇගයීම් පද්ධතිය විභාග කේන්ද්‍ර කරගත් රාමුවෙන් ඔබ්බට ගෙන ගොස් සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් රටාවක් වෙත යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඊයේ (12) කොළඹදී පැවැති “250 Years of Educational Excellence: Lessons from a Sri Lankan American” මහජන දේශනයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ ක්‍රියාකාරකම් හා අත්දැකීම් පදනම් කරගත් ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදයක් හඳුන්වාදීම බවද ඇය මෙහිදී අවධාරණය කළාය.

පවතින පද්ධතියේ සාර්ථක අංග ඉවත් නොකර, වර්තමාන හා අනාගත ලෝකයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය නවීකරණය කිරීම රජයේ බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එසේම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමත්, අධ්‍යයනමය හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර දෙකටම සමාන පිළිගැනීමක් ලබාදීමත් කාලීන අවශ්‍යතාවක් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. සියලු දෙනාම ආවරණය වන, අනාගතයට සූදානම් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය සූදානම් බවද ඇය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here