ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
7

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) මහත්මිය මෙම මස අවසානයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. සිය කුඩා දරුවන් දෙදෙනා සහ පවුලේ අය වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමේ අරමුණින් ඇය මෙම තීරණය ගෙන ඇති අතර, ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇගේ එම තීරණයට තමන් පූර්ණ ගෞරවය දක්වන බවයි.

තවද, ධුරයෙන් ඉවත් වුවද ලෙවිට් මහත්මිය ඉදිරියේදී සිය ප්‍රධානතම බාහිර උපදේශකයෙකු ලෙස මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ බලගතු හඬක් ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. 28 හැවිරිදි වියේ පසුවන ඇය අමෙරිකානු ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස වාර්තා අතරට එක්වූ අතර, ඇය වෙනුවට පත්වන නව නිලධාරියා කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලෙවිට් මහත්මිය සඳහන් කර ඇත්තේ, මෙම ධුරය දැරීමට ලැබීම තමාගේ ජීවිතයේ ලැබුණු ඉහළම ගෞරවය සහ අත්දැකීම බවයි. කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක ලෙස ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක රැකියාවක නිරත වීම පහසු නොවන බවත්, ධුරයේ වගකීම් සහ කාලය කැප කරමින් එකවර හොඳම මවක ලෙස කටයුතු කිරීම අපහසු බැවින් මෙම තීරණය ගත් බවත් ඇය පවසා ඇත.

මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ සහකාර මාධ්‍ය ලේකම්වරියක ලෙස මෙන්ම කොන්ග්‍රස් මන්ත්‍රී එලිස් ස්ටෙෆනික්ගේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ ඇය, 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදීද ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරමින් දැඩි සංවාදශීලී මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිලධාරිනියක ලෙස කැපී පෙනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here