අද උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක්

0
13

අද (14) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මේ අතර, ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 15 වන දින පමණ වන විට ‘පීඩන අවපාතයක්’ දක්වාත්, ඉන් අනතුරුව නොවැම්බර් 16 වන දින වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ බවටත් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම තත්ත්වය හේතුවෙන්, අද (14) උදෑසන 5.30 සිට නැවත දැනුම්දෙන තුරු නිශ්චිත මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හා පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, එම කටයුතුවල යෙදී සිටින ප්‍රජාව වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් දැඩි ලෙස දන්වා සිටියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන හෝ උතුරු දිශාවලින් පැයට කිලෝමීටර 30ත් 40ත් පමණ වේගයකින් හමා යන අතර, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවවලදී සුළං වේගය පැ.කි.මී. 60ත් 70ත් දක්වා තාවකාලිකව ඉහළ ගොස් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here