මීට වසර 37කට පෙර සෝවියට්-ඇෆ්ගනිස්ථාන යුද්ධයේ කටුක අතීතය සහ ලේවැකි ගැටුම් පසෙක තබමින්, මොස්කව් රජය සහ ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය අතර අද වන විට ශක්තිමත් ආර්ථික හා දේශපාලන සබඳතා ගොඩනැඟෙමින් පවතී. ඉස්ලාමීය එමිරේට්ස් රජය සමඟ වෙළඳ සහ ආයෝජන කටයුතු පුළුල් කිරීමට රුසියාව පියවර ගෙන තිබීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.
පසුගිය 2025 ජූලි මාසයේදී තාලිබාන් රජය නිල වශයෙන් පිළගත් ප්‍රථම ලෝක බලවතා බවට මොස්කව් පත්වූ අතර, මේ වන විට රුසියානු ව්‍යාපාරිකයන් 70කට වැඩි පිරිසකින් සමන්විත දූත පිරිසක් ඇෆ්ගනිස්ථානයේ ඛනිජ සම්පත්, කර්මාන්තශාලා සහ වෙළඳ මාර්ග සංවර්ධනය කිරීම සඳහා දැවැන්ත ආයෝජනවලට මුලපුරා තිබේ.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, මෙම වෙනසට ප්‍රධානම හේතුව ‘භූගෝලීය යථාර්ථයයි’. මධ්‍යම ආසියාතික රටවල් වන ටජිකිස්තානය, උස්බෙකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය සමඟ මායිම් වන ඇෆ්ගනිස්ථානය, රුසියාවේ ආරක්ෂක සහ මූලෝපායික කලාපයට අත්‍යවශ්‍ය කලාපයකි. ස්ථාවර ඇෆ්ගනිස්ථානයක් හරහා මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව (පාකිස්තානය ඇතුළු වෙළඳපළවල්) සම්බන්ධ කරන ප්‍රධාන වෙළඳ මාර්ගයක් නිර්මාණය කරගැනීම රුසියාවේ මූලික අරමුණ වී තිබේ.
කෙසේ වෙතත්, අතීතයේ මිලිටරි බලය යොදාගනිමින් බලපෑම් කිරීමට උත්සාහ කළ සෝවියට් දේශය වෙනුවට, අද වන විට රුසියානු සමාගම් සඳහා ඇෆ්ගනිස්ථානය සිය දොරටු විවෘත කර ඇත. ඉතිහාසයේ කටුක අත්දැකීම් සහ යුද්ධ පැවතුනද, රටක භූගෝලීය පිහිටීම වෙනස් කළ නොහැකි බැවින්, භූ දේශපාලනික අවශ්‍යතා මත දෙපාර්ශ්වයටම අතීතය අමතක කර එකිනෙකා සමඟ කටයුතු කිරීමට සිදුවී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.


