ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) හි හිමිකාරීත්වය නව පිරිසක් යටතට පත්ව තිබේ. හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් යන මහත්වරුන්ගේ සම හිමිකාරීත්වයෙන් යුතු, ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම විසින් මෙම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර ඉදිරියේදී එය “Anchor Jaffna Kings” ලෙස නම් කිරීමට නියමිතය.
පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීම සහ අනෙක් සම හිමිකරු වන මයංක් ගෝයල් පිළිබඳ තොරතුරක් නොමැති වීම හේතුවෙන් ජූලි 23 වැනිදා එම හිමිකාරීත්වය අවසන් කෙරිණි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය යටතේ තාවකාලිකව පාලනය වූ ජැෆ්නා කණ්ඩායම, බෙල්ජියමේ Antwerp Anchors සහ කැනඩාවේ Vancouver Anchors කණ්ඩායම් හිමි Anchor Sports AB සමාගම මගින් මිලදී ගැනීමත් සමඟ නැවතත් ස්ථාවර හිමිකාරීත්වයකට හිමිකම් කියයි.
පිටියෙන් පිටත මෙවැනි අර්බුද පැවතිය ද, LPL ශූරතා පහෙන් හතරක්ම දිනාගනිමින් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් පිල මෙවර තරගාවලියේ ද මූලික වටයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී. මෙම ගනුදෙනුව පිළිබඳ අදහස් දක්වමින් නාගේන්ද්‍ර සිද්දෞතම් පැවසූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්ප්‍රදායට ගරු කරමින් LPL හි ඉදිරි සංවර්ධනයට දායක වන බවයි. සහීර් ඛාන් සහ LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේ සහීර් ඛාන්ගේ මෙම පැමිණීම ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට මෙන්ම ලීගයේ ඉදිරි ගමනට ද විශාල ශක්තියක් වන බවයි.

