ජපානයේ නව ආරක්ෂක වාර්තාවට චීනයෙන් දැඩි විරෝධයක්

0
2

ජපානය විසින් මෑතකදී නිකුත් කළ “Defense of Japan 2026” නම් නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවෙහි චීන හමුදාව පිළිබඳ දැක්වෙන කරුණු දැඩි විරෝධයකින් යුතුව ප්‍රතික්ෂේප කරන බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ප්‍රකාශක චෙන් ෂී (Chen Xi) මහතා සඳහන් කළේ, ජපානය නැගූ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි. එරට හමුදා බලය වර්ධනය කරගැනීමට පවතින සීමාවන් ලිහිල් කරගැනීමේ අරමුණින් ජපානය මෙලෙස ඊනියා “චීන තර්ජනයක්” පිළිබඳව අතිශයෝක්තියෙන් පෙන්වීමට උත්සාහ කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අදාළ වාර්තාව මගින් චීනයේ තායිවාන කලාපය ආශ්‍රිත හමුදා ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරමින්, එය ජපානය මෙතෙක් මුහුණ දුන් විශාලතම උපායමාර්ගික අභියෝගය ලෙස දක්වා තිබිණි. කෙසේ වෙතත් චෙන් ෂී මහතා අවධාරණය කළේ, ජපාන පාලකයින් සිය ආරක්ෂක වියදම් වැඩි කරමින් හමුදා ව්‍යාප්තිය වේගවත් කිරීමට මෙවැනි ආරක්ෂක ගැටලු නිදහසට කරුණක් ලෙස යොදාගන්නා බවයි.

තවද තායිවාන ප්‍රශ්නය චීනයේ ස්වෛරීත්වයට අදාළ අභ්‍යන්තර කරුණක් වන අතර, එය දෙරට අතර දේශපාලන සබඳතාවන්හි පදනම කෙරෙහි තීරණාත්මකව බලපාන බව ද ඔහු වැඩිදුරටත් මතක් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here