මෙට්‍රෝ බස් සේවාව සැප්තැම්බර් සිට මාර්ග 7ක් පුරා ධාවනයට

0
6

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ අරමුණින් දැනට මාර්ග 02ක ක්‍රියාත්මක වන ‘මෙට්‍රෝ බස් රථ සේවාව’ අලුතින් මාර්ග 05ක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සමස්ත මාර්ග 07ක් ආවරණය වන පරිදි මගී ජනතාවට මෙම වැඩිදියුණු කළ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි වනු ඇත. මෙම නව මාර්ග පද්ධතිය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (04) බත්තරමුල්ල, සෙත්සිරිපාය II අදියරේ පිහිටි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

නව සැලසුමට අනුව මිලේනියම් සිටි – කොළඹ කොටුව (කි.මී. 22.3), දෙමටගොඩ – පානදුර (කි.මී. 28.7), තලංගම ඩිපෝව/බත්තරමුල්ල – ඒකල (කි.මී. 29.9), මාකුඹුර/කැස්බෑව – පිටකොටුව (කි.මී. 37.7) සහ කොල්ලුපිටිය – සර්කියුලර් පාර/බම්බලපිටිය (කි.මී. 14) යන නව මාර්ග 05 සඳහා බස් රථ එක් කෙරේ. මීට අමතරව දැනට ක්‍රියාත්මක වන මාකුඹුර – කොළඹ කොටුව (කි.මී. 23.3) සහ මාකුඹුර – කඩවත (කි.මී. 34.8) යන මාර්ග 02හි ද සුපුරුදු පරිදි සේවාවන් පැවැත්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2027 වසරේදී මෙම සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙත ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි. 2035 වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මගින් සිදු කිරීම මූලික අරමුණ වන අතර, ඒ සඳහා පෞද්ගලික අංශයට ද දායක විය හැක. 2026 සැප්තැම්බර් මාසයේදී මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122 දක්වාත්, 2027 අවසන් වන විට එය 272 දක්වාත් ඉහළ නැංවීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here