ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු තම කණ්ඩායම් සමඟ මව්රට බලා පිටත්ව නොගොස් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මෙලෙස “සොයාගත නොහැකි” බවට පැමිණිලි ලැබී ඇති බැවින් ස්කොට්ලන්ත පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, එක්සත් රාජධානියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමඟ ද මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.
විදෙස් වාර්තාවලට අනුව, උගන්ඩා බොක්සිං කණ්ඩායමේ සාමාජිකයන් වන නුහු බට්ටේ (Nuhu Batte), ඇන්ජල් කටුෂාබේ (Angel Katushabe), ඉබ්‍රාහිම් කෙමිස් (Ibrahim Kemis) සහ එමිලි නකලේමා (Emily Nakalema) යන සිව්දෙනා මෙලෙස පලාගොස් ඇති අතර, ඔවුන් ස්කොට්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව එම කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ. මීට අමතරව, පාකිස්තාන බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩක කුද්රතුල්ලා (Qudratullah) ද සිය කණ්ඩායම සමඟ ආපසු නොගොස් අතුරුදන් වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර 2014 වසරේ ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් පසුව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අතුරුදන් වූ අතර, ඔවුන්ගෙන් ඇතැමුන් සරණාගතභාවය ඉල්ලූ අතර තවත් පිරිසක් සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. කෙසේ වෙතත්, අනාගතයේදී ඉදිරිපත් කෙරෙන ඕනෑම සරණාගත අයදුම්පතක් එක් එක් සිද්ධියේ කරුණු සහ සාක්ෂි අනුව වෙන වෙනම සලකා බලන බව එක්සත් රාජධානියේ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

