පැවැති අධික වර්ෂාපතනය සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් වසා තැබුණු මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් අද (05) සිට යළි විවෘත කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද (05) දිනයේ පමණක් වසා තැබීමට තීරණය කර ඇත.
මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක පවුල් 3,014කට අයත් පුද්ගලයින් 11,832 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ආපදා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර, එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව තිබේ. ඊයේ (04) පස්වරු 6.00ට නිකුත් කළ වාර්තාවලට අනුව, පීඩාවට පත් පුද්ගලයින් 3,538 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 51ක තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන ඇත.

