බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කළහොත්, ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම වර්ජනය කරන බවට යුරෝපීය පාපන්දු සම්මේලනය (UEFA) දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
ලෝක කුසලානය ඇතුළු අනෙකුත් ප්‍රධාන තරගාවලි පවත්වාගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක වටිනාකමකින් යුත් නව අනුබද්ධිත ආයතනයක් නිර්මාණය කර, එහි 20%ක කොටස් බාහිර ආයෝජකයින්ට විකිණීමට බලාපොරොත්තු වන බව ලෝක පාපන්දු පාලක මණ්ඩලය (FIFA) පසුගිය අඟහරුවාදා නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත්, FIFA ආයතනයේ මෙම පෞද්ගලීකරණ සැලැස්මට සිය අකමැත්ත පළ කරමින් ලෝක කුසලානය ඇතුළු සියලුම FIFA තරගාවලි වර්ජනය කිරීම සඳහා UEFA සාමාජික සංගම් අද (30) පැවති රැස්වීමකදී ඒකමතිකව තීරණය කර ඇත.
යුරෝපීය පාපන්දු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙවැනි බාහිර ආයෝජන හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවේ පවතින සාම්ප්‍රදායික ව්‍යුහයට සහ ක්‍රීඩාවේ සදාචාරාත්මක භාවයට දැඩි හානියක් සිදුවිය හැකි බවයි.

