ලොව 12 වන උසම කඳු මුදුන වන පාකිස්තානයේ පිහිටි ‘බ්‍රෝඩ් පීක්’ කන්ද තරණය කරමින් සිටි ජාත්‍යන්තර කඳු නැගීමේ කණ්ඩායමක් ඊයේ (30) මධ්‍යහ්නයේ ඇති වූ දරුණු හිම කුණාටුවකට හසුවීමෙන් පසු අතුරුදහන් වී තිබේ.
කරකෝරම් කඳුවැටියට අයත්, මීටර් 8,047ක් (අඩි 26,400) උසැති මෙම කඳු මුදුන ආසන්නයේදී හටගත් මෙම කුණාටුවෙන් පසුව, අදාළ කණ්ඩායම සමඟ පැවැති සියලුම සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පාකිස්තාන කඳු නැගීමේ නිලධාරීන් තහවුරු කරයි.
නේපාලයේ උපන් සුප්‍රසිද්ධ හිටපු රාජකීය මැරීන් භටයකු වන නිර්මාල් පුර්ජාගේ නායකත්වයෙන් යුත් 10 දෙනෙකුගෙන් සමන්විත මෙම ජාත්‍යන්තර කණ්ඩායමට විවිධ රටවල දක්ෂ කඳු නගින්නන් ඇතුළත් වී සිටිති. ඒ අනුව කණ්ඩායම් නායක නිර්මාල් පුර්ජා ඇතුළුව නේපාල ජාතිකයින් 6 දෙනෙකු, ඇමෙරිකානුවෙකු, චීන ජාතිකයෙකු සහ ඕමාන ජාතිකයෙකු මෙලෙස අතුරුදන් වූවන් අතර වේ.
අතුරුදන්ව සිටින කණ්ඩායම් නායක නිර්මාල් පුර්ජා යනු 2019 වසරේදී මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ලොව මීටර් 8,000කට වඩා උසින් යුත් කඳු මුදුන් 14ම තරණය කරමින් ලෝක වාර්තාවක් තැබූ සුවිශේෂී කඳු නගින්නෙකි.

