ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට

0
6

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.71%කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 82.16ක් ලෙසත්, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.16%කින් අඩුවී ඇමෙරිකානු ඩොලර් 88ක් ලෙසත් සටහන් වී තිබේ. මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද 2.60%කින් පහළ ගොස් බැරලයක මිල ඩොලර් 85.71ක් දක්වා අඩු වී ඇත. මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ද අද (31) දින සිදු කිරීමට නියමිතව පැවතියේය.

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස අඩු වුවද, ඉදිරියේදී ඇතිවිය හැකි මිල අවිනිෂ්චිතතාවය හේතුවෙන් මෙරට ඉන්ධන මිල අඩු කිරීමේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා කියා සිටියේ, මීට පෙර ලෝක වෙළෙඳපොළේ මිල 50%-60%කින් ඉහළ ගිය ද සංස්ථාව මිල වැඩි කළේ 4%කින් පමණක් බවයි.

මෙහිදී 92 පෙට්‍රල් ලීටරයක පිරිවැය ව්‍යුහය ද සභාපතිවරයා විසින් පැහැදිලි කරන ලදී. ඒ අනුව ජුනි මාසයේ මෙරටට පැමිණි නැව්වල වටිනාකම අනුව ජූලි මාසයේ 92 පෙට්‍රල් ගොඩබෑමේ පිරිවැය රුපියල් 269.76කි. ඊට සැකසුම් පිරිවැය රුපියල් 18.51ක්, අනෙකුත් පිරිවැය රුපියල් 3.90ක්, මෙහෙයුම් අලාභය රුපියල් 2.11ක්, ප්‍රවාහන වියදම රුපියල් 3.68ක්, අලෙවි නියෝජිත ලාභය (Dealer Margin) රුපියල් 8.35ක් සහ රජයේ බදු වශයෙන් රුපියල් 135.97ක් එකතු වේ. ඒ අනුව සියලු වියදම් එකතු වූ පසු 92 පෙට්‍රල් ලීටරයක සමස්ත පිරිවැය රුපියල් 429.83ක් ලෙස සටහන් වන බව හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here