මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවට (2026 ජනවාරි-ජුනි) අනුව, 2026 වසරේ පළමු මාස 6 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන 27%කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා වර්ධනය වී තිබේ. රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ ආදායම් ඉහළ යාම හේතුවෙන්, 2025 වසරේ එම කාලය තුළ පැවති රුපියල් බිලියන 405.6ක අයවැය හිඟය වෙනුවට මෙවර රුපියල් බිලියන 9.5ක සාධනීය අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත් වී ඇත. මේ අතර, එම කාලසීමාව තුළ රජයේ සමස්ත බදු ආදායම ද 25.9%ක වර්ධනයක් පෙන්වමින් රුපියල් ට්‍රිලියන 2.71ක් (රුපියල් බිලියන 2,710.6) දක්වා ඉහළ ගොස් තිබේ. මෙය රජයේ වාර්ෂික බදු ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 4.91න් 55.2%ක් සපුරා ගැනීමකි.
මෙම බදු ආදායම රැස්කිරීම සඳහා ප්‍රධානතම දායකත්වය ශ්‍රී ලංකා රේගුවෙන් ලැබී ඇති අතර, ඔවුන් රුපියල් බිලියන 1,290ක (සමස්තයෙන් 48%ක්) ආදායමක් උපයා ඇත. එහිදී ආනයන VAT බද්දෙන් රුපියල් බිලියන 443.7ක් ද, 106.5%ක කැපී පෙනෙන වර්ධනයක් සටහන් කළ මෝටර් රථ ආනයන බද්දෙන් රුපියල් බිලියන 266.4ක් ද ලැබී තිබේ. රේගු බදු ආදායමෙන් 63%ක්ම ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනයෙනි. දෙවැනි වැඩිම දායකත්වය ලබාදුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,248ක් (සමස්තයෙන් 46%ක්) රැස්කර ඇති අතර, ඉන් ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 568.4කි. එහිදී සමාගම් ආදායම් බදු සහ දේශීය VAT ආදායම 26%කින් ද, පුද්ගල ආදායම් බදු සහ සමාජ ආරක්ෂණ දායක බද්ද 15%කින් ද ඉහළ ගොස් ඇත. මීට අමතරව, සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් සුරාබදු හරහා රුපියල් බිලියන 137.5ක් (27%ක වර්ධනයක්) ඇතුළුව සමස්තයක් ලෙස රුපියල් බිලියන 138ක් උපයා ඇති අතර, අනෙකුත් මාර්ගවලින් රුපියල් බිලියන 35ක් ලැබී තිබේ.
බදු නොවන ආදායම ද 43.6%ක කැපී පෙනෙන වර්ධනයක් සමඟ රුපියල් බිලියන 243.6ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, රජයේ සමස්ත වියදම ද 7.9%කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.95කට ආසන්න වී ඇති අතර, ඉන් පුනරාවර්තන වියදම් 6.5%කින් සහ ප්‍රාග්ධන වියදම් 23.6%කින් ඉහළ ගොස් තිබේ. එසේ වුවද, රජයේ පොලී ගෙවීම් 2%කින් පහළ ගොස් රුපියල් බිලියන 1,234.6ක් දක්වා අඩු වීම විශේෂත්වයකි. මෙම මූල්‍ය ප්‍රගතියට සමගාමීව, 2025 වසරේ පළමු කාර්තුවේ පැවති 4.7%ක ආර්ථික වර්ධනය අභිබවා යමින් 2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.1%ක ඉහළ වර්ධන වේගයක් සටහන් කර ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

