තැනැත්තන් වෙළෙඳාම මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම් අවධාරණය කරයි

0
4

ලෝක තැනැත්තන් වෙළෙඳාමට එරෙහි දිනය නිමිති කරගනිමින්, ජාතික තැනැත්තන් වෙළෙඳාමට එරෙහි කාර්ය සාධක බලකාය (NAHTTF) විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාම මර්දනය කිරීම සහ වැළැක්වීම” තේමාව කරගත් ජාතික සමුළුව ඊයේ (30) කොළඹ මැරියට් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික තැනැත්තන් වෙළෙඳාමට එරෙහි කාර්ය සාධක බලකායේ සභාපති, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී විය.

එහිදී සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ වින්දිතයන්ගේ, ආත්ම ගෞරවය සුරැකීමටත්, අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික යාන්ත්‍රණය සක්‍රීය කිරීමටත්, ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටින බවයි.

මෙවර ලෝක තැනත්තන් වෙළෙඳාමට එරෙහි දිනයේ ගෝලීය තේමාව වන “Trapped Behind the Scam” යන්න කෙරෙහි අවධානය යොමු කළ ලේකම්වරයා, සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් තාක්‍ෂණය අවභාවිත කරමින් ව්‍යාජ රැකියා අවස්ථා මගින් පුද්ගලයන් මුළා කොට, ඔවුන් සයිබර් වංචා ඇතුළු විවිධ ශ්‍රම සූරාකෑම්වලට බලහත්කාරයෙන් යොදවා ගැනීමේ ශීඝ්‍ර ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දුන්නේය. තවද, තැනැත්තන් වෙළෙඳාම යනු සයිබර් අපරාධ, මුදල් විශුද්ධිකරණය සහ අනෙකුත් නීති විරෝධී කටයුතු සමඟ සමීපව බැඳුණු ජාත්‍යන්තර අපරාධයක් බවට පත්ව ඇති බැවින්, ඒ සඳහා සමගාමී හා ඒකාබද්ධ ජාතික ප්‍රවේශයක ඇති අත්‍යවශ්‍යතාව ද එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

තැනැත්තන් වෙළෙඳාම මර්දනය කිරීම උදෙසා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාව, කඩිනම් තොරතුරු හුවමාරුව, වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය විමර්ශන පුළුල් කිරීම මෙන්ම, මානව හිමිකම් සුරකිමින් තාක්‍ෂණය වගකීම් සහගත ලෙස භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම සමුළුවේ සාකච්ඡා වූ කරුණු ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත්කිරීමේ වැදගත්කම පෙන්වා දුන් එතුමා, තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීමටත්, වින්දිතයන් ආරක්‍ෂා කිරීමටත්, වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව තහවුරු කළේය. සිය දේශනය අවසන් කරමින්, සියලුම ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් දක්වන සක්‍රීය දායකත්වය අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා, මෙම ජාවාරම් ජාලයන් මුලිනුපුටා දමා සෑම වින්දිතයෙකුටම ආරක්‍ෂාව, ගෞරවය සහ සාධාරණත්වය තහවුරු කිරීම උදෙසා ඒකාබද්ධව පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

රාජ්‍ය නියෝජිතායතන සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඒකාබද්ධ ප්‍රයත්නය විදහා දක්වමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුගත් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ Chargé d’Affaires, Olivier Praz සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ අවිදිමත් සංක්‍රමණ පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරිනී Sonya Douglas යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.

එමෙන්ම, ජාතික තැනැත්තන් වෙළෙඳාමට එරෙහි කාර්ය සාධක බලකායේ (NAHTTF) නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනවල නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here