අප්‍රිකානු සූකර උණෙන් පීඩාවට පත් සූකර කර්මාන්තයට නව රක්ෂණ ආවරණයක්

0
5

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීම සහ ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, එළැඹෙන 2026 අගෝස්තු මාසය “සූකර රක්ෂණ මාසය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මේ හරහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාණිජ මට්ටමේ ගොවිපළවල සිටින අභිජනන සූකර සතුන් රක්ෂණය කිරීම ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම රක්ෂණ ආවරණය මඟින් අප්‍රිකානු සූකර උණ, හදිසි අනතුරු මෙන්ම වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන සතුන්ගේ මරණ සඳහා වන්දි ගෙවීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, මාස 6 සිට අවුරුදු 4 ½ දක්වා වයස් කාණ්ඩයේ පසුවන අභිජනන සතුන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 200,000ක උපරිම රක්ෂණ ආවරණයක් ලබාගත හැක.

මෙම නව රක්ෂණ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය ගොවිජන රක්ෂණ මණ්ඩල දිස්ත්‍රික් කාර්යාල, පශු වෛද්‍ය නිලධාරී කාර්යාල, සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන්ගෙන් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here