දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු තීරයන්හි ධීවර කටයුතුවල නිරත වීම නැවත දැනුම් දෙන තුරු වහාම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රතු නිවේදනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ප්‍රකාශ කළ එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, මේ වන විටත් එම ප්‍රදේශවල මුහුදු ගොස් සිටින ධීවරයන්ට වහාම ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන ලෙස දැනුම් දෙයි. සෙසු මුහුදු ප්‍රදේශ සඳහා මෙලෙස ධීවර කටයුතු තහනම් කර නොමැති වුවද, පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් හා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.
හදිසියේ පැනවූ මෙම තහනම හේතුවෙන් ධීවර ප්‍රජාවට ආර්ථික අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වුවත්, සියල්ලට වඩා ජීවිත ආරක්ෂාව වැදගත් බැවින් මෙම තීරණයට සහය දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද බෙහෙවින් රළු විය හැකි බවයි.
එබැවින් ඉදිරියේදී ධීවර දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධව නිකුත් කරනු ලබන නිල නිවේදන හා උපදෙස් කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙස ධීවර ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

