නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්

0
4

දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර, ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී, විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කල් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, නඩුව යළි දෙසැම්බර් මස 8 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දිය යුතු බවට දන්වා සිටියේය.

සැකකාර හිටපු සභාපතිවරයාට එරෙහිව ප්‍රධාන චෝදනා ත්‍රිත්වයක් එල්ල වී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, 2014 ජනවාරි 22 වනදා ක්වාලාලම්පූර් සිට කටුනායක බලා පැමිණීමට තිබූ UL 319 දරන ගුවන්යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීම හේතුවෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදු කිරීමයි. දෙවනුව, 2014 ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ලංකාව හරහා ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL 563 දරන ගුවන්යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමෙරිකානු ඩොලර් 19,160ක පාඩුවක් රජයට සිදු කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව, 2014 දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් 1,250,000ක රජයේ මුදල් අවභාවිත කරමින් වැය කිරීම සම්බන්ධයෙන් ද තවත් චෝදනාවක් ඔහුට එරෙහිව ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here