ජල සැපයුම ගැන ජල සම්පාදනයෙන් විශේෂ දැනුම්දීමක්

0
2

දිවයින තුළ දැනට පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද, රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සභාපති චන්දන බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ජලය ලබා ගැනීමට කිසිදු සීමාවක් පනවා නොමැති බැවින් මණ්ඩලය සිය උපරිම ජල නිෂ්පාදන ධාරිතාව එලෙසම පවත්වාගෙන යන බවයි.

කෙසේ වුවද, ඉදිරියේදී ජල මට්ටම් ඉතා පහළ බැසීම නිසා එම ආයතනවලට සීමාවන් පැනවීමට සිදු වුවහොත් පමණක්, ඉදිරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම දේශගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මේ වන විටත් විශේෂ පූර්ව සූදානමක නිරත වන අතර, භූගත ජලය වැඩිපුර ලබා ගැනීම සඳහා පවතින නල ළිං පද්ධති වැඩිදියුණු කිරීමට ද පියවර ගනිමින් සිටියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව මේ වන විටත් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය මෙන්ම හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවෙමින් පවතින බැවින්, මෙම අසීරු මොහොත පසුකර යන තෙක් ජලය අපතේ යෑම වළක්වා ගනිමින් උපරිම අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කරන ලෙස සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම පුරෝකථනයන්ට අනුව එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව නැවත වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද, 2027 වසරේ මුල් මාස හතර තුළ මෙම වියළි තත්ත්වය තවදුරටත් තීව්‍ර ලෙස දැනිය හැකි බව ද චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here