ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස උණ බම්බු යොදාගනිමින් ‘ජෛව වැටක්’ (Bio-fence) ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණාත්මක දායකත්වය ලබාදීමට චීනය එකඟ වී තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් චීනයේ බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ (ICBR) සිදුකළ නිල අධ්‍යයන සංචාරයකදී මෙම එකඟතාවන්ට එළඹ ඇත. එහිදී පැවැත්වුණු ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී උණ බම්බු වගාව, නවීන සැකසුම් තාක්ෂණය සහ ඒ ආශ්‍රිත කාර්මික නිෂ්පාදන පිළිබඳව පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කෙරුණු අතර, දෙරට අතර පවතින ඓතිහාසික හා දේශපාලනික සබඳතා ද ඇගයීමට ලක්විය.
අලි-මිනිස් ගැටුම පාලනයට අදාළ මෙම ව්‍යාපෘතිය සඳහා සහය දෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා කළ නිල ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ චීන පාර්ශ්වය, එම ගැටුමට තිරසාර විසඳුමක් ලබාදෙන අතරම උණ බම්බු නිෂ්පාදන මඟින් ප්‍රාදේශීය ප්‍රජාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය නවීන තාක්ෂණය, හොඳම භාවිතයන් සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව සහතික කළේය. පරිසර හිතකාමී මෙන්ම ආර්ථිකමය වශයෙන් ප්‍රජාව බලගන්වන මෙවැනි නවමු ප්‍රවේශයන් හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

