දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ගැනීමට නියමිත බව දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී තහවුරු කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිසාපති චන්දන තිලකරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට හේතු වී ඇත්තේ, වසර 35-40ක සිට පෙරහැරට ඇතුළත්ව තිබූ කාවඩි නර්තන ශිල්පීන්ගේ ඇඳුම් පැළඳුම්වල පවතින අශෝභනත්වය සහ අධික ලෙස මත්පැන් පානය කර හැසිරීම වැනි බරපතළ විනය පිරිහීම් මෑතකාලීනව වාර්තා වීමයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විනය විරෝධී කණ්ඩායම් කිහිපයක් මෙවර පෙරහැරෙන් ඉවත් කිරීමට බස්නායක නිලමේවරයා ප්රමුඛ විශේෂ සංගමයක් මීට පෙර තීරණය කර තිබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් පාතාල කණ්ඩායම් මැදිහත් වීමෙන් ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් පෙරහැරේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුව ඇත.
පෙරහැරේ පරිපාලන බලතල දිසාපතිවරයා සතු වුවද, ආරක්ෂාව සැපයීමේ වගකීම ඇති පොලිසිය විසින් කාවඩි අංගය පෙරහැරෙන් ඉවත් කිරීමට නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, සියලුම කණ්ඩායම්වලට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස බස්නායක නිලමේවරයා ඉල්ලීමක් කර ඇති බැවින්, කාවඩි කණ්ඩායම් සහභාගි කරවා ගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් සහ තීරණාත්මක එකඟතාව අද සන්ධ්‍යාවේදී ප්‍රකාශයට පත් කෙරේ.

