රුසියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

0
3

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) අතර විශේෂ සාකච්ඡාවක් සාර්ථකව පවත්වා ඇති අතර, එමඟින් රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ හැකියාව පුළුල් කර තිබේ.

කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී රුසියාවේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව ශ්‍රමිකයන් බඳවා ගැනීමේ මූලාශ්‍ර රටක් ලෙස නම් කිරීම පිළිබඳව රුසියානු දූත පිරිසට සිය ස්තූතිය පළ කළ අතර, ලංකාවේ පවතින නිපුණ හා අර්ධ නිපුණ ශ්‍රම බලකාය සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ආයතන හරහා ජාත්‍යන්තර මට්ටමේ කාර්යක්ෂම ශ්‍රමිකයන් බිහිකිරීමට දෙන දායකත්වය ද පැහැදිලි කළේය.

නිවාස, සිවිල් සහ කාර්මික ඉදිකිරීම් ව්‍යාපෘතිවල නිරත සමාගම් 105කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන NOSTROY සංවිධානයේ සභාපති ඇන්ටන් ග්ලූෂ්කොව් මහතා මීට පෙර ඉන්දියාව සමඟ ද මෙවැනි අවබෝධතා ගිවිසුමකට එළඹී ඇති බව මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවල සමාප්තිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත සමාගම (පුද්.) වෙනුවෙන් එහි සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා සහ NOSTROY සංවිධානය වෙනුවෙන් එහි සභාපති ඇන්ටන් නිකොලයෙවිච් ග්ලූෂ්කොව් මහතා අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි.

මෙම ගිවිසුම හරහා රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිසි පරිදි බඳවා ගැනීම සහ යොමු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ශක්තිමත් සහයෝගීතා රාමුවක් ස්ථාපිත කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here