කාන්තා සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට බ්‍රිතාන්‍ය වෙළඳපොළට යාමට නව අත්පොත්

0
5

එක්සත් රාජධානියේ වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා දේශීය කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සවිබල ගැන්වීමේ අරමුණින් “She Trades ශ්‍රී ලංකා” මධ්‍යස්ථානය විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් සකස් කළ අපනයන අත්පොත් දෙකක් එළිදක්වා තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම අත්පොත් නිකුත් කර ඇත.

ඇඟලුම්, රෙදිපිළි, පාවහන්, අත්කම් නිර්මාණ, සකස් කළ ආහාර සහ කුළුබඩු වැනි ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර, එමඟින් එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) පිළිබඳ ප්‍රායෝගික මඟපෙන්වීම් ලබාදෙයි. මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන නිෂ්පාදනවලින් සියයට 92කට පමණ තීරුබදු රහිතව එක්සත් රාජධානියේ වෙළඳපොළට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ.

මෙම අත්පොත් එළිදැක්වීමේ උත්සවය සඳහා එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිත ලෝඩ් හැන්ට්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවකු වන බැවින් මෙම DCTS යෝජනා ක්‍රමය දේශීය ව්‍යවසායන්ට ජාත්‍යන්තර වෙළඳපල ජය ගැනීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බවයි.

මේ අතර, ලෝඩ් හැන්ට් මහතා පෙන්වා දුන්නේ මවු භාෂාවලින් මෙම අත්පොත් සකස් කිරීම නිසා ශ්‍රී ලංකාව පුරා සිටින ව්‍යවසායකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපොළ නීතිරීති සහ අවශ්‍යතා වඩාත් පහසුවෙන් තේරුම් ගනිමින් සිය ව්‍යාපාර පුළුල් කර ගැනීමට මඟ පෑදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here