ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට “Ceylon Tea Village” ජාතික වැඩසටහන ඇරඹේ

0
9
Early sun on a tea plantation with young tea leaves reaching their early dew, sun radiating rays distance to greet new day on the plateau in Vietnam

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන අද (15) ආරම්භ කෙරිණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙහි පළමු අදියර ලෙස 2026 වසර තුළ තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට නියමිතය. කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

මෙමඟින් කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ ඒකාබද්ධ කිරීම වැනි සුවිශේෂී පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් සෑම තේ ගම්මානයකටම අධිඝනත්ව තේ වගා ආදර්ශන බිම්, නව තේ පැළ තවාන්, රක්ෂණ සහ විශ්‍රාම වැටුප් ක්‍රම, සහනදායී ණය පහසුකම්, යාන්ත්‍රීකරණ සහාය මෙන්ම Handmade තේ නිෂ්පාදන පුහුණුව ඇතුළත් සමෝධානික සංවර්ධන පැකේජයක් හිමිවේ.

මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ, ග්‍රාමීය දුප්පත්කම අවම කර ජනතාවගේ ආර්ථික ශක්තිය නැංවීම මෙහි මූලික ඉලක්කය බවයි. එමෙන්ම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව, රාජ්‍ය සේවය සහ ජනතාව එක්ව කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here