පුත්තලම් දුම්රිය මාර්ගයේ බංගදෙණිය සහ මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (14) සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එහි සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මීට සෘජු හේතුව වී තිබේ.
මීට අමතරව, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පිහිටි ආඳදොල උප දුම්රිය ස්ථානය මාස 11ක කාලයක සිටත්, අකුරළ උප දුම්රිය ස්ථානය මාස 9ක කාලයක සිටත් වසා දමා ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය මගීන්ට ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් මිලදී ගැනීමට මෙන්ම දුම්රිය ප්‍රමාදයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට නොහැකි වී ඇති අතර, රාත්‍රී කාලයේදී එම ස්ථානවල විදුලි ආලෝකය නොමැති වීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙති.
දුම්රිය මෙම ස්ථානවල නතර කළද, මගීන්ට සිදුවන්නේ වෙනත් දුම්රිය ස්ථානයකින් ප්‍රවේශපත් ලබා ගැනීමටය. නීත්‍යනුකූල ක්‍රමවේදයන්ට අනුව සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා මෙම වසා දමා ඇති ස්ථාන විවෘතව තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව පවතී.
කෙසේ වෙතත්, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් සේවක අතිකාල දීමනා කප්පාදු කිරීමට සැලසුම් කිරීම හේතුවෙන් මෙලෙස සහන සේවකයන් යෙදවීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

