ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර නිල හමුවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින දශක ගණනාවක ශක්තිමත් මිත්‍රත්වය සිහිපත් කළ කථානායකවරයා, ලබන වසරේදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරෙන බව සඳහන් කළේය. ජාත්‍යන්තර මට්ටමේදී රුසියාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය, ශ්‍රී ලංකා තේ සඳහා රුසියාවෙන් ලැබෙන ඉහළ ඉල්ලුම මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ද කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවෙන් ලැබෙන දිගුකාලීන මිත්‍රත්වයට ස්තුතිය පුද කළ අතර, පාර්ලිමේන්තු මට්ටමේ සබඳතා සහ හුවමාරු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
අවසාන වශයෙන්, වෙළෙඳාම, ආයෝජන, සංචාරක සහ පාර්ලිමේන්තු සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසකින් දෙරටේ සහයෝගීතාව වර්ධනය කරමින් ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා කටයුතු කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළහ.

