ජූලි මාසයේ ගතවූ කෙටි කාලය තුළ ඩෙංගු රෝගීන් 13,292ක් වාර්තා වෙයි.

0
18

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය 11 වැනිදා වන විට 68,071ක් ලෙස සටහන් වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, ඊට පසුදින (12) වන විට තවත් රෝගීන් 601 දෙනෙකුගෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,672ක් දක්වා වර්ධනය වී ඇති අතර, වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

දිවයිනේ සෙසු පළාත් සමඟ සැසඳීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 36,118කි. බස්නාහිර පළාත තුළ ද වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි රෝගීන් 14,112ක් වාර්තා වී තිබේ. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 13,791 දෙනෙකු හඳුනාගෙන ඇත.

කාලීන දත්තයන්ට අනුව, ජූලි මාසයේ ගතවූ දින 12ක් වැනි කෙටි කාලය තුළ පමණක් රෝගීන් 13,293 දෙනෙකු වාර්තා වී තිබේ. කෙසේ වුවද, වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සටහන් වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 21,538ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here