දිවයින පුරා විසිරී පවතින ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන දහසක් (1,000) සංරක්ෂණය කිරීමේ මහා පරිමාණ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති “පුරාවිද්‍යා දෙසතිය” හෙට (07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ඓතිහාසික උරුමයන් සුරක්ෂිත කිරීම උදෙසා අදාළ ස්ථාන හඳුනාගෙන, ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ බවයි.
සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිත අතර, හෙට දිනයේ ආරම්භ වන පුරාවිද්‍යා දෙසතිය තුළ එහි පළමු පියවර ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, මූලික අදියර යටතේ හඳුනාගත් සුවිශේෂී පුරාවිද්‍යාත්මක ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු හෙටින් ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙමඟින් වටිනා ඉතිහාසයක නටබුන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිතව දායාද කිරීමට මඟ පෑදෙනු ඇත.
මෙම ජාතික මෙහෙවර වඩාත් සාර්ථක කරගැනීම සඳහා මහජනතාවගේ සෘජු දායකත්වය ලබාගැනීමට ද රජය තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ “ප්‍රජා සංරක්ෂණ කමිටු” පිහිටුවීමට පියවර ගෙන ඇත. මෙම ප්‍රජා කමිටු හරහා ප්‍රදේශවාසීන් ඉදිරිපත් කරන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස්, මඟපෙන්වීම් සහ සෘජු මැදිහත්වීම මත ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සියලු සැලසුම් සකස් කර තිබේ.
