බස් ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය

0
10

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළ අතර, දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වන දින මෙම වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙවර මිල සංශෝධනය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්ය. මීට අමතරව දැනට භාවිත කරන බස්රථ මාදිලි, අමෙරිකානු ඩොලරයේ අගය වෙනස් වීම සහ බස්රථ අමතර කොටස්වල මිල කෙරෙහි ඇති වන බලපෑමද මෙම තීරණයේදී විශේෂයෙන් සැලකිල්ලට ගෙන ඇත.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සහ මෑතකදී අලුතින් හඳුන්වා දෙන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස්රථ යන සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, දැනට පවතින බස් ගාස්තු සූත්‍රය සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විශේෂ කමිටුවක්ද පත් කර තිබුණි. එකී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මෙන්ම 2026 ජූනි 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයද පදනම් කර ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් වූ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here