ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ක්‍රියාත්මක කරන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලධාරීන් සහ ශ්‍රී ලංකා රජය අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට (Staff-Level Agreement) අද (09) එළඹුණු බව නිවේදනය කෙරිණි.
මෙම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ:
-
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි.
-
විදේශ විනිමය සංචිත ගොඩනැගීම, දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සහ රාජ්‍ය ආදායම් ඉලක්ක අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පවතින බව ද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, වත්මන් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බවත්, මෑතකදී බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කරමින් වඩාත් යහපත් ලෙස රට ගොඩනැගීම (Build Back Better) අත්‍යවශ්‍ය බවත් IMF අවධාරණය කරයි.
සාර්ව ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන වර්ධන මාවතක පවත්වාගෙන යාමට නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙන කවරදාටත් වඩා දැන් තීරණාත්මක බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. අස්ථාවර ලෝක වාතාවරණයක් තුළ බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

