ජනාධිපතිවරයා රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරයි.

0
3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කළේය.

වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇත. මේ නිසා රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසීය.

වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු 600 ඉක්මවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රු කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

එසේ වුවත් නිසි දත්ත සපයා ගැනීමක් නොමැති වීම හේතුවෙන් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් මිල වෙළෙඳපොළ මිලට ගැලපීමට තීරණය කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් 100ක වියදමක් රජය විසින් දැරීමට තීරණය කළ බවත් ඒ සඳහා මාස තුනක් සඳහා රුපියල් කෝටි 6,000ක් රජයට වැයවෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අස්වැසුම සහනාධාරය

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දීම:

– රුපියල් 7,500/- ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබා දීම.
– රුපියල් 5,000/-ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම.
– රුපියල් 2,500/- ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීම.

විදුලි සහනාධාරය

ඒකක 90ට අඩු අයට සහන දෙන්න රුපියල් බිලියන 15ක් වෙන් කෙරේ.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

පොහොර සහනාධාරය

හෙක්ටයාරයකට රු 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රු 30,000ක් දක්වා ඉහළ නංවීම.

අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රු 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රු 18,000දක්වා ඉහළ නැංවීම.

ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රු 10,200ක ස්ථාවර මිලකට.

ධීවර සහනාධාරය

එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රු 50 බැගින් වූ සහනාධාරයක් මාස 3ක් සඳහා.

ඉදිරි මාස 3 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රු 150,000 එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here