මැදපෙරදිග ගැටුම් සමනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා මැදිහත් විය යුතුයි – ධර්මශක්ති සංවිධානය එකසත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට සංදේශයක් භාර දෙයි.

0
3

වසර 40කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කිතුනු යන සර්ව ආගමික නියෝජිතයින්ගෙන් සැදුම්ලත් “ධර්මශක්ති සංවිධානය”, දැනට පවතින ඇමෙරිකාව හා ඉරාන යුද්ධය නතර කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද(06) පෙරවරුවේ සංදේශයක් භාරදුන් අතර එහි පිටපත් අමෙරිකානු හා ඉරාන තානාපති කාර්යාල වලටද බාරදෙන ලදී.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා වෙත යොමු කළ මෙම ලිපිය මගින්, ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය සාකච්ඡා මේසයට ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් අපොහොසත් වීම පිළිබඳව විවේචන එල්ල කර ඇත.

ලිපියේ අන්තර්ගත ප්‍රධාන කරුණු:

  • ආගමික සහෝදරත්වය බිඳ වැටීම: ආබ්‍රහම් (Abraham) තුමාගෙන් පැවත එන යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන දහම් තුනෙහිම මූලික හරය සාමය වුවද, අද එම ප්‍රජාවන් අන්‍යෝන්‍ය විනාශයක නිරත වීම කණගාටුවට කරුණක් බව පෙන්වා දෙයි.

  • ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම: මැදපෙරදිග සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය මෙම යුද්ධය නිසා අනතුරේ වැටී ඇති බවත්, එය මෙරට දුප්පත් සහ මධ්‍යම පාන්තික පවුල්වලට දරාගත නොහැකි බරක් වී ඇති බවත් එහි සඳහන් වේ.

  • විදේශීය මැදිහත්වීම්: අරාජික රාජ්‍යයන්හි නායකයන් පත් කිරීමට හෝ ඉවත් කිරීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය වැනි සුපිරි බලවතුන් මැදිහත් වීම, ජනතාවට තම නායකයන් තෝරා ගැනීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බව ධර්මශක්ති සංවිධානය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරෙන ඉල්ලීම්:

  1. ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර වහාම සාම සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගැනීම.

  2. යුද්ධයෙන් පීඩා විඳින අහිංසක ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ හඬට සවන් දීම.

  3. බාහිර බලපෑම්වලින් තොරව තමන්ගේම නායකත්වය තීරණය කිරීමට ජාතීන්ට ඇති ස්වෛරී අයිතිය ආරක්ෂා කිරීම.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වසනීයත්වය රැඳී ඇත්තේ මෙවැනි තීරණාත්මක මොහොතක ගන්නා ක්‍රියාමාර්ග මත බව පවසමින්, සාමය උදෙසා අවංකව සහ කඩිනමින් මැදිහත් වන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here