අන්තර්ජාතික “සාමයේ පා ගමන” අප්‍රේල් 21 වැනිදා අනුරාධපුරයෙන් ඇරඹෙයි.

0
7

ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ අන්තර්ජාතිකව පිළිගත් “සාමයේ පා ගමන” (Walk for Peace) මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පූජ්‍යපාද පඤ්ඤාකාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නය නියෝජනය කරමින් ස්වාමින් වහන්සේලා දොළොස් නමකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන 2026 අප්‍රේල් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” (මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව පිණිසත්, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙනුත් චාරිකාවේ හැසිරෙන්න) යන බුදු වදනට අනුව මෙහෙයවන මෙම පා ගමන දින හතක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කිරීමට නියමිතය.

සමාජය තුළ සාමය සහ මෛත්‍රිය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. සාමය යනු බලහත්කාරයෙන් ලබාගත හැක්කක් නොව, සිහිකල්පනාවෙන් යුතුව පියවරෙන් පියවර වර්ධනය කරගත යුත්තක් බව ප්‍රායෝගිකව පෙන්වා දීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

ආරම්භක වැඩසටහන:

  • දිනය: 2026 අප්‍රේල් 21

  • ස්ථානය: අනුරාධපුරය

  • පස්වරු 4:00: ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් පිළිගැනීමේ උත්සවය.

  • පස්වරු 5:00: රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්.

මෙම සත්කාර්යය සඳහා සහභාගී වී සාමයේ පණිවිඩය සමාජගත කිරීමට දායක වන ලෙස සංවිධායක මණ්ඩලය සැමගෙන් ඉල්ලා සිටියි.

දඹුල්ලෙන් ඇරඹෙන සාමයේ පා ගමන මහනුවර හරහා කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා

අනුරාධපුරයෙන් ආරම්භ වන මෙම “සාමයේ පා ගමන” (Walk for Peace) එතැන් සිට ඓතිහාසික දඹුල්ල රජමහා විහාරය වෙත පැමිණෙන අතර, අනතුරුව මහනුවර බලා ගමන් කිරීමට නියමිතය. මහනුවරට ළඟා වන මහා සංඝරත්නය මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට නියමිතව ඇත.

මෙම පා ගමන පුරා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරය සමඟ ඓතිහාසික නීලගිරි සේයාව, හඟුරන්කෙත මැදන්වල රජමහා විහාරය, මහියංගනය රජමහා විහාරය සහ හුනුපිටිය ගංගාරාමය යන පූජනීය ස්ථානවලින් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලාද වැඩම කරවනු ලබයි.

නිමාව සහ විශේෂ රාජ්‍ය උත්සවය:

මෙම දින හතේ පා ගමන 2026 අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් නිමාවට පත්වේ. ඉන් අනතුරුව පූජනීය ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරය පෙරහැරකින් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය. රජයේ “පිරිසිදු ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන මෙහි ප්‍රධාන රාජ්‍ය සහකරු ලෙස කටයුතු කරන අතර ත්‍රිවිධ හමුදාව, ජාතික නිර්මාණ මධ්‍යස්ථානය සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද මීට පූර්ණ සහාය දක්වයි.

බෞද්ධ උරුමය විදහා දක්වන ප්‍රදර්ශනය:

අප්‍රේල් 28 සහ 29 යන දිනවල ගංගාරාම විහාර පරිශ්‍රයේදී විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වේ. එහිදී:

  • පිත්තල නිර්මාණ: වටාපත්, කොඩි, පිළිම සහ කොත්.

  • ලාක්ෂා සහ මැටි කර්මාන්ත: කරඬු, පෙට්ටි සහ පිළිම.

  • දේශීය අත්කම්: තල් කොළ නිර්මාණ, සේසත්, ස්වභාවික සායම් ගැන්වූ සිවුරු, දුම්බර රටා රෙදි සහ සාම්ප්‍රදායික බෙර හා සිතුවම්.

අරමුණ:

මෙම සංස්කෘතික වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් (Texas) ප්‍රාන්තයේ ඉදිවන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය සඳහා ශ්‍රී ලාංකීය බෞද්ධ උරුමය දායක කිරීමයි. එහි භාෂා 10කින් ත්‍රිපිටකය ලියා ස්තූප 840ක් තුළ තැන්පත් කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here