NEWSNOW | – මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු වේ.
උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳ සලකා බලා එම එම ප්‍රදේශවලින් ඉවත් කර තිබූ ජනතාව යළි සිය නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පමණක් නායයෑම් රතු නිවේදන ලබා දී ඇති බවය.
එමෙන්ම අද (23) දිනයේද සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් පැවසූ ඒ මහතා සියලු මාර්ග යථා තත්ත්වයට පත් කර ඇතැයිද විභාග මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම තායිලන්ත කාලගුණ විද්‍යා සේවයද පවසා ඇත්තේ එරට තුළ කිසිදු භූ කම්පන තත්ත්වයක් නොමැති බවය.

