ඉරාන – ශ්‍රී ලංකා දීර්ඝ කාලීන සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහතික වෙයි.

0
2

ඉරාන – ශ්‍රී ලංකා දීර්ඝ කාලීන සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ඉරාන ජාතික දින සැමරුමට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික දින සැමරුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ “ITC රත්නදීප” හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතාගේ ආරාධනාව මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත සැමරුම් දින උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

ඉරානය සිය ජාතික දිනය සමරන මෙම අවස්ථාවේ ඉරානයේ නායකත්වයට සහ එරට ජනතාවට සමෘද්ධිමත් අනාගතයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක් කරන බව බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා – ඉරාන දීර්ඝ කාලීන මිතුදම සහ ද්විපාර්ශවික සබඳතා පිළිබඳව ද මෙහිදී සිහිපත් කරන ලදී.

ඉරානය ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් සහිත රාජ්‍ය තන්ත්‍රික මිතුරෙකු ලෙස සුනාමි ව්‍යසනය, කොවිඩි වසංගතය සහ ආර්ථික අභියෝග ඇතුළු දුෂ්කර කාලවලදී, මෙරටට සහයෝගය දැක් වූ බව ද මෙහිදී සිහිපත් කළ අමාත්‍යවරයා වෙළඳාම, තාක්‍ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල නව වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ඉරානය කටයුතු කරනු ඇති බව ද පැවසීය.

ලොව නවීන තාක්ෂණ පෙරළියත් සමග විශේෂයෙන් නැනෝ තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය මෙන්ම ඖෂධ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කර ගනිමින් මෙරට ජනතාවට උසස් සෞඛ්‍ය සේවා ලබාදීමට දෙරට අතර සහයෝගීතාවයන් මනා පිටුවහලක් ව ඇති බව ද අවධාරණය කළ අමාත්‍යවරයා ඉදිරි අනාගතයේ දී ද ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීමට රජය කැපවී කටයුතූ කරන බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා ඇතුළු තානාපති කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here