21 කෝටියකට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට.

0
62

NEWSNOW | – රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තායිලන්තයේ බැංකොක් නුවරින් අදාළ මත්ද්‍රව්‍ය මිලදී ගෙන වෙනත් පුද්ගලයෙකු ලබා මෙරට ගෙන්වා සිය නිවසේ සඟවා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය‍.

සැකකරු විසින් විවිධ පුද්ගලයින් යොදවා විදේශ රටවල්වලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් පසුව රට පුරා එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගෙන තිබේ.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූදහසකට ආසන්න බවත් පොලීසිය සඳහන් කළේය.

පසුගිය 13 වැනි දින මෙම මත්ද්‍රව්‍ය තොගය අඩංගු ගමන් මල්ල වෙනත් පුද්ගලයෙකු අත මෙරටට එවා පසුව ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරවාගෙන ජාවාරම්කරුගේ නිවසට රැගෙන ගොස් භාරදී තිබේ.

පසුව ජාවාරම්කරු ඊයේ (14) දින අත්බෑගයක් පමණක් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇත.

මේ සියල්ල නිරීක්ෂණය කර ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණි පසු අදාළ නිවස වටලා ඒ වන විටත් සිය නිවසෙහි විවෘත නොකළ ගමන් මලු තුළ ඇසුරුම් 20කට සකස් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ තුළ තිබී කිලෝ 21 ග්‍රෑම් 668ක මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත. ‍

මීට අමතරව ජාවාරම්කරු සතුව තිබී රුපියල් පහලොස් ලක්ෂ දහ නව දහසක් වටිනා අමෙරිකානු ඩොලර් 4,900ක මුදලක්ද පොලිස් භාරවට ගෙන ඇත.

සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය සහ මුදල් අද වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.