කෝටි 11 කට වැඩි වටිනාකමින් යුත් රත්‍රන් තොගයක් රැගෙන ආ අයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

0
53

NEWSNOW| – රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408 ක් බරැති  රන් බිස්කට් 28 ක් , මෝටර් රථ අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ

මොහු හලාවත ප්‍රදේශයේ පදිංච් 58 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු අද උදෑසන 09.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණි ඔහු ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත ” ( Red Channel ) ඔස්සේ පැමිණ, තමන් ගෙන ආ මෝටර් රථ අමතර කොටස් තොගය සදහා අදාල තීරු බදු ගෙවා ගුවන් තොටුපොළෙන් පිට වී යාමට සූදානම් වී තිබේ.

එහෙත් ඔහු පිළිබද ලැබී තිබූ  බුද්ධි තොරතුරු පදනම් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඔහු අත් අඩංගුවට ගෙන, මෙම මෝටර් රථ අමතර කොටස්, ගලවා සියුම් ලෙස පරීක්ෂා කර බලන්නට විය .

එහිදී එම මෝටර් රථ කොටස් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 266 ක් බරැති  , රන් බිස්කට් 28 ක් සොයා ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි.

පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා , ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් බිස්කට් තොගය , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

(කටුනායක – ටී.කේ.ජී.කපිල )