අමෙරිකාව විසින් ඉන්දුනීසියානු අපනයන සඳහා පැනවූ තීරු බදු අඩු කරයි

0
28

NEWSNOW | – නව බදු සම්බන්ධයෙන් අමෙරිකාව, ඉන්දුනීසියාව සමඟ ගිවිසුමකට එළඹ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පවසා ඇත්තේ අමෙරිකානු අපනයන සඳහා කිසිදු තීරුබද්දක් අය නොකරන ලෙස ඉන්දුනීසියාවෙන් ඉල්ලා සිටින බවය.

කෙසේ වෙතත් අමෙරිකාව විසින් ඉන්දුනීසියානු අපනයන සඳහා පැනවූ තීරු බදු සියයට 19ක් දක්වා අඩු කරන බව ට්‍රම්ප් පවසා ඇත.

අමෙරිකාව විසින් මීට පෙර ඉන්දුනීසියාවට සියයට 32ක බද්දක් පනවා තිබුණි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දුනීසියාව විසින් අමෙරිකානු බලශක්තියෙන් ඩොලර් බිලියන 15ක්, අමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ඩොලර් බිලියන 4යි දශම 5ක් සහ බෝයිං ජෙට් යානා 50ක් මිලදී ගැනීමට සූදානම් බව .

කෙසේ වෙතත් ඉන්දුනීසියානු රජය මෙම ගිවිසුම සම්බන්ධයෙන් තවමත් අවසන් නිවේදනයක් නිකුත් කර නොමැත.

ඉන්දුනීසියාව යනු අමෙරිකාවේ 23 වන ඉහළම වෙළඳ හවුල්කරුවාය.

අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තු දත්තවලට අනුව පසුගිය වසරේ අමෙරිකාව එරටින් ඩොලර් බිලියන 28ක වෙළඳ භාණ්ඩ ආනයනය කර තිබේ.

අමෙරිකානුවන් වැඩි වශයෙන් මිලදී ගත් භාණ්ඩ වූයේ ඇඳුම් පැළඳුම් සහ පාවහන්ය.

අමෙරිකාව ඉන්දුනීසියාවට අපනයනය කර තිබුණේ ඩොලර් බිලියන 10ක භාණ්ඩ පමණයි.