පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට නවීන රූපලාවන්‍යාගාරයක්

0
41

පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්‍යාගාරයක් ලෙසින් වැඩිදියුණුකළ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය (Saloon) ඊයේ (15) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායී මුදලක් වැය කර කොන්ඩය කපා ගත් එම ස්ථානයෙන් මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන් හට , පොලිස් පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ඒ වෙත පැමිණෙන ඔනෑම අයෙකුට සහනදායී මුදලකට සියලුම රූපලාවන්‍ය කටයුතු කරගත හැකි පරිදි දෛනිකව විවෘත වේ.

වැඩබලන පොලිස්පතිතුමාගේ බිරිඳ වන සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකාවක් වන සහයක සේවා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද මහතාගේ බිරිඳ සන්දීපා සෙව්මිණී මහත්මිය සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මීය ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් සහ අධීක්ෂණය යටතේ තවදුරටත් මෙම ස්ථානය සාර්ථකව වැඩිදියුනු කිරීමට අවශ්‍ය කටයුතු තවදුරටත් ඉදිරියට සිදුවනු ඇත.

මෙහි සේවය කිරීම සඳහා විෂයෙහි ප්‍රවීන පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන්ට අවස්ථාව හිමිකරදීමද විශේෂත්වයකි. මෙලෙස දිවයින පුරා සේවා ස්ථාන සඳහා පොලිස් පවුල්වල සාමාජිකයන්ට අවස්ථාව හිමිකරදී ආර්ථික වශයෙන්ද පොලිස් පවුල් සවිමත් කිරීම වැඩබලන පොලිස්පතිතුමාගේ අරමුණයි.

මෙම රූපලාවන්‍යාගාරය උපාංග පරිත්‍යාගය බිලීවර්ස් ඊස්ටන් දේවස්ථානයේ ගරු කල්‍යාණප්‍රිය පියතුමා විසින් සිදුකර ඇති අතර පොලිස් සේවා වනිතා ඒකකයේ මුදල් යෙදවීම යටතේ අනෙකුත් වැඩිදියුණුකිරීම් සිදුව ඇත.