මෙහි විමර්ශන අවසන් වන තෙක් එරට සියලු බෝයිං 787 මාදිලියේ ගුවන් යානා පියාසැරිවලින් ඉවත් කර තැබීම සම්බන්ධයෙන් ද ඉන්දිය බලධාරීන් අවධානය යොමුකර තිබේ.
එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය පසුගිය 12 වැනිදා අනතුරට ලක්වූයේ ලෝක ගුවන් ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් සටහන් කරමින්ය.
අහමදාබාද් ගුවන්තොටුපොළ අසල BJ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී පිපිරීමට ලක්වූ ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.
ගුවන් යානයේ සිටි එක් මගියෙක් පමණක් අනතුරින් දිවි ගලවාගත් අතර එය විස්මය දනවන සිදුවීමක් වුණි.
යානය කඩාවැටුණු වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලේ සිටි සිසුන් පිරිසක් ද ජීවිතක්ෂයට පත්වුණේ අවාසනාවන්ත ලෙසින්ය.
මේ අනතුරින් පසු සුන්බුන් ගොඩක් වූ එම නේවාසිකාගාර ගොඩනැගිල්ලයි.
ගුවන් යානය කඩාවැටී දිවි අහිමි වූ සහ තුවාල වූ සිසුන් අනතුර සිදුවන මොහොතට පෙර සිය දිවා ආහාරය ගනිමින් සිට තිබේ.
මියගිය පිරිස් අතරින් සියලුදෙනාම පාහේ දැඩි ලෙස පිළිස්සී එම මළ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා මගීන්ගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ලබාගැනීම මේ වන විට සිදුකෙරේ.
මේ වන විට 190 දෙනෙකුගෙන් පමණ සාම්පල ලබාගෙන ඇති බව සඳහන්ය.
අනන්‍යතාව තහවුරු කරගත් මළ සිරුරු හතක් ඥාතීන් වෙත භාරදී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාකරයි.
ඇතැම් මළ සිරුරුවල අවසන් කටයුතු ද අද සිදුකෙරුණි.
මියගිය ගුවන් මගීන්ගේ ඥාතීන් රැසක් මේ වන විට අහමදාබාද් වෙත පැමිණ ඇත්තේ මළ සිරුරු භාරගැනීමේ අපේක්ෂාවෙන්ය.
මේ වන විට ලෝකයේම අවධානය යොමුවී ඇත්තේ ගුවන් යානයේ අනතුරට හේතුව කුමක්ද යන්න ගැනයි.
ඒ සඳහා කඩිනම් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.