NEWSNOW| – ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වුණි.
විශේෂයෙන් කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් වාර්තා විය.
මේ හේතුවෙන් එම මාර්ග ආශ්රිත රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ (29) පස්වරුවේ සිට බලපවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 245කට අයත් පුද්ගලයින් 1,321 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය.
එහිදී මොරටුව, පාදුක්ක, කැස්බෑව, කඩුවෙල, හෝමාගම, කොළඹ, සීතාවක, රත්මලාන, තිඹිරිගස්යාය, මහරගම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කට බලපෑම් එල්ලවී ඇත.
නිවාස 03කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 239කට අර්ධ හානි සිදුවී ඇති බව ආපදා අංශය පවසයි.
මේ අතර බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගොඩබිමට පැමිණීමට නොහැකිව සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු අද දහවල් ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මඟින් මුදාගනු ලැබීය.