NEWSNOW| – ලොව පුරා කම්කරු ජනතාව තම ඉල්ලීම් වෙනුවෙන් හඬක් නගන ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
වසර 1886 මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් කම්කරුවෝ මෙලෙස සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරති.
ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරයි.
අද දියන් වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධානත් මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.
ඒ අනුව කොළඹ නගරය තුළ මැයි දින රැලි 14ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබේ.
ජාතික ජනබලවේගය විසින් සිය මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය” යන තේමාවෙනි.
එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වෙන්නේ “රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේය.
එසේම පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු” යන්නයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැලිය මෙවර එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. “බොරුව නවතනු – පොරොන්දු ඉටුකරනු” යන තේමාව යටතේ සිය පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර සර්ව ජන බල පක්ෂය විසින් “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාව යටතේ මෙවර මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
එය වරකාපොළ සතිපොළ භූමියේ දී උදෑසන 10.30ට මැයි දින රැලිය පැවැත්වීමට නියමිතය.
මේ අතර අද දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබේ.
එසේම කොළඹට පැමිණෙන බස් රථ ගාල් කිරීම සදහා විශේෂ රථගාල සකස් කර ඇති බව පොලීසිය පවසයි.