NEWSNOW| – උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥ එස්.ඒ. පී. උදයංගනී වහා මුදාහරින ලෙස අද(31) අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.
පසුගිය 28 වනදා ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි එස්.ඒ. පී. උදයංගනී නමැති නීතිඥවරිය අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව විනිසුරුවරිය විසින් ඇය ඇපමත මුදා හළ බවට දැනගන්නට ඇතැයි පෙත්සම්කරු සඳහන් කළේය.
එහෙත් එදින ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් පවතින බව පෙන්වා දුන් පෙත්සම්කරු අදාල නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේදි මහාධිකරණ විනිසුරුවරිය විසින් එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙනි ගොස් තිබෙන බවත් සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙන ලෙසත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ නීතිඥවරිය නිදහස් කරන ලෙස වාරියපොළ බන්ධනාගාර අධිකාරිවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නියෝග කළේ මෙම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධීකරණය හමුවේ පෙනී සිටින ලෙසය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.