NEWSNOW| – බටලන්ද කොමිෂන් සභා වාර්තාව දේශපාලන අරමුණක් මත සිදු කළ එකක් බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි කරුණු ප්‍රතික්ෂේප කරයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන්ව අපකීර්තියට පත්කිරීමේ එකම අරමුණින් කොමිසම ස්ථාපිත කළ නමුත් එහි අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ බවයි.
වාර්තාවේ 1988 -1990 කැරැල්ලේදී පොලිස් නිලධාරීන් සඳහා නිවාස පහසුකම් සැලසීමට ඔහු සම්බන්ධ වූ බව පමණක් සඳහන් කර ඇති නමුත් වෙනත් කිසිදු චෝදනාවකට ඔහු සම්බන්ධ කර නොමැති බව ඔහු පැවසීය.
“මාව සාක්ෂිකරුවෙකු ලෙස පමණක් කැඳවනු ලැබුවා. කොමිසමේ සොයාගැනීම්වලට අනුව, මා සම්බන්ධ කර ඇත්තේ පොලිස් නිලධාරීන් සඳහා නිවාස ලබා දීමේ කාරණයට පමණක් වන අතර, එය රෙගුලාසිවලට අනුව, පොලිස්පතිවරයා හරහා කළ යුතුව තිබුණි. මෙම ක්‍රියාවලිය සඳහා නලින් දෙල්ගොඩ සහ මම යන දෙදෙනාම වක්‍රව වගකිව යුතු බව වාර්තාව පෙන්වා දෙයි. මේ හැර, කොමිෂන් සභා වාර්තාවේ වෙනත් කිසිදු චෝදනාවකට මා සම්බන්ධ කර නැත, ”වික්‍රමසිංහ මහතා පැවසීය.
එම වාර්තාව 2000 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කිසිදු පක්ෂයක් ඒ පිළිබඳව විවාදයක් ඉල්ලා නොසිටි බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය.
1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) රට පුරා භීෂණ රැල්ලක් දියත් කළේය.
මෙම කාලය තුළ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන රටේ ප්‍රධාන ස්ථාන සුරක්ෂිත කිරීමේ වගකීම කැබිනට් අමාත්‍යවරුන්ට පැවරීය. තෙල් පිරිපහදුව, ඩීසල් බලාගාරය, මහවැලියෙන් කොළඹට විදුලිය සපයන උපපොළ, නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් බියගම ප්‍රදේශයේ පිහිටා තිබුණි. මෙම ස්ථානවල ආරක්ෂාව සඳහා හමුදාව යොදවා ඇත.
ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැලසීම සඳහා ලංකා පොහොර නිෂ්පාදන සංස්ථාව සතු අතහැර දැමූ ගොඩනැගිලි සහ නිවාස ඔවුන්ට ලබාදීමට තීරණය විය. ඒ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකු මෙම නිවාස කිහිපයක පදිංචිව සිට ඇත.
මෙම භීෂණ සමය තුළ සපුගස්කන්ද පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි ස්ථානාධිපතිවරයා ඝාතනයට ලක් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මා අමතා මෙම සංකීර්ණයේ හිස්ව ඇති නිවාස හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා වෙන් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව එම නිවාස කැලණි පොලිසියේ ප්‍රධානී නලින් දෙල්ගොඩ මහතාට ලබාදීමට එවකට සිටි පරිපාලකවරයා කටයුතු කළේය.
පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමුපකාර සමිති සභාපතිවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම කාලය තුළ ඝාතනයට ලක්වුණා. මීට අමතරව තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකටද ප්‍රහාරයක් එල්ල වුණා.
බලයේ සිටි රජය රටේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට, ආර්ථිකය යළි ගොඩනැගීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත්තා.
1994 න් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය විසින් බටලන්ද ප්‍රදේශයේ වධක මධ්‍යස්ථානයක් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට කොමිසමක් පත් කරන ලදී. පුද්ගලයන් කිහිප දෙනෙකු කොමිසම හමුවට කැඳවා සාක්ෂිකරුවෙකු ලෙස මා කැඳවනු ලැබුවා. ඒ වන විට මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියා. බටලන්ද කොමිසම පිහිටුවීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් නමුත් එය දේශපාලන වාසි තකා යොදා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.
කොමිසමේ සොයාගැනීම්වලට අනුව, මා සම්බන්ධ කර ඇත්තේ පොලිස් නිලධාරීන් සඳහා නිවාස ලබා දීමේ කාරණයට පමණක් වන අතර, එය රෙගුලාසිවලට අනුව, පොලිස්පතිවරයා හරහා කළ යුතුව තිබුණි. මෙම ක්‍රියාවලිය සඳහා නලින් දෙල්ගොඩ සහ මම යන දෙදෙනාම වක්‍රව වගකිව යුතු බව වාර්තාව පෙන්වා දෙයි.
මේ හැර කොමිෂන් සභා වාර්තාවේ වෙනත් කිසිදු චෝදනාවකට මා සම්බන්ධ කර නැත. මෙම වාර්තාව 1988 සහ 1990 අතර ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පුළුල් ලෙස ලේඛනගත කර ඇති අතර එහි පසුබිම විස්තර කරන අතර තුන්වන පරිච්ඡේදයේ ජවිපෙ විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් ලැයිස්තුගත කර ඇත. එම සිදුවීම්වල සම්පූර්ණ ඉතිහාසය වාර්තාවට ඇතුළත් කර ඇත.
මෙම සොයාගැනීම්වලින් ඔබ්බට, වාර්තාවේ ඇති වෙනත් කිසිදු චෝදනාවක් මට අදාළ නොවන අතර, මම එම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.
බටලන්ද කොමිෂන් වාර්තාව හංගලා කියලා කාටවත් කියන්න බැහැ. එය 2000 වසරේ පාර්ලිමේන්තු සැසිවාර වාර්තාවක් ලෙස ඉදිරිපත් කළ ද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කිසිවකු ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටියේ නැත. බොහෝ දෙනෙක් එම වාර්තාව පිළි නොගත් අතර, එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පියවර නොගත්තේ මන්දැයි පැහැදිලි කළ හැකිය.
බලයට පත් කිසිදු දේශපාලන පක්ෂයක් එම වාර්තාව දේශපාලන වාසි තකා යොදා ගැනීමට උත්සාහ කර නොතිබීමද විශේෂත්වයකි. තවද, එය ප්‍රකාශයට පත් කර වසර 25කට පසුව සැසි වාර්ථාවක් විවාද කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හෝ වෙනත් පාර්ලිමේන්තුවල පූර්වාදර්ශයක් නොමැත.