බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය තමිල්නාඩු වෙරළ දෙසට

0
37

NEWSNOW | – ඉදිරි පැය 24 තුළ අග්නිදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

එය තවත් තීව්‍ර වෙමින් ඉදිරි දින දෙක තුළ ශ්‍රී ලංකාවට උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටියි.

අද කාලගුණ – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වලාකුළු සහිත අහසක් බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී.40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකි – බෙංගාල බොක්ක ආශ්‍රිත කටයුතුවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ධාරානිපාත වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටියි.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී.30-40 පමණ වන අතර එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ දිශාව වෙනස් විය හැකි අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක.