5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන අධිකරණය දුන් තීන්දුව

0
75

NEWSNOW | – පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්’දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්’දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය.

පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද(02) කැඳවනු ලැබූ අවස්ථාවේදී සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්’ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි ප්‍රශ්න තුනක් කලින් පිට වූ බව සඳහන් “පළමු ප්‍රශ්න පත්‍රය” යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා දැනුම්දීම සඳහා මෙම පෙත්සම අද කැඳවා තිබුණි.