කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත්. නායයෑම් අනතුරු ඇඟවීම්

0
39

NEWSNOW| – අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු,  නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්’ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන බව ගොඩනැගිලි පර්’යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේය.