විභාග කොමසාරිස්ගෙන් උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

0
35

NEWSNOW| –  2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම් දීමක් කරයි.

අද(30) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය.

විභාගය පැවැත්වෙන දින වකවාණුව පිළිබඳව තීරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දී බව පැවසු විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකරන බව පැවසීය.

ඒ අනුව දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළ බවත් ඔහු පැවසීය.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස සිසුන්ට අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් පැවසීය.

2025 අවසන් වී 2026 වසර ආරම්භයේ දී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

ඒ අනුව උසස් පෙළ විභාගය කල්දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අපේක්ෂකයින්ගේ මානසිකත්වය වඩා හොඳින් පවත්වා ගන්නා ගෙන විභාග සඳහා පෙනී සිටින ලෙසත් කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවර උසස් පෙළ සඳහා විෂයන් 64ක් යටතේ අයදුම්කරුවන් 333,185 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත්, ඉන් පාසල් අයදුම්කරුවන් 253,390ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් අයදුම් කර ඇති බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.

විභාග මධ්‍යස්ථාන 2,317ක දී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර උතුරු පළාතේ ඩෙල්ෆ් සහ නයනතිව් දූපත්වලද විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.