මුදල් අච්චු ගැසූ බවට නව ණය ලබාගත් බවට කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

0
42
  1. NEWSNOW| –  බලයට පත්වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සහ නව ණය ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රජය කිසිදු රටකින් හෝ සංවිධානයකින් අලුතින් ණය ලබාගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් තහවුරු කළේය.

ණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු කියා සිටියේ කල් ඉකුත්වන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අලුත් කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින බවත් එය සම්මත ක්‍රියාවලියක් බවත්ය.

මහ බැංකුවේ පවතින ක්‍රියාවලියට අනුගත වෙමින් රජය මුදල් ලබා ගැනීම පමණක් සිදු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ රජය කිසිදු මුදලක් මුද්‍රණය කර නොමැති බවත් එසේ කිරීමට හැකියාවක් නොමැති බවත්ය.

නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත් වත්මන් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ඊට අදාළව තම අත්සන ලබාදී නොමැති බවත් රජයේ ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

එලෙස අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවට වත්මන් ජනාධිපතිවරයාගේ අත්සන අවශ්‍ය වන බව පෙන්වා දුන් ඔහු, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අත්සන සහිත නව මුදල් නෝට්ටු මෙරට වෙළෙඳපොළෙන් හමුවී ඇත්නම් ප්‍රශ්න කළේය.

මෙවැනි අසත්‍ය තොරතුරුවලට හසු නොවන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.