දැලි පිහියෙන් කිරි කන්නා සේ වූ නව ජනපති අනුර සහ සමාගමේ වගකීම්

0
133
NEWSNOW | – අභිනව ජනාධිපති ලෙස පත්ව සිටින අනුර කුමාර දිසානායක අයත් වන ජනතා විමුක්ති පෙරමුණ කලකට පෙර ප්‍රචණ්ඩ විප්ලව දෙවරක්ම දියත් කිරීම නිසා ශ්‍රී ලංකා වාසීන්ගේ හා විශේෂයෙන් දකුණේ ජනතාවගේ වෛරයට පාත්‍ර වු ආකාරය සැමටම පාහේ මතක තිබෙනවාට සැකයක් නැත. 1987 සහ 1989 වකවානුවෙහි උතුරේ කොටි සංවිධානය විසින් බෙදුම්වාදි අවිගත් අරගලයක් මුදා හැර සිටි විට එයට සමගාමීව ජවිපෙ දිවයිනේ සෙසු පෙදෙස්වල වෙනත් ආකාරයක භීෂණයක් පැතිරවුයේය.
පසුව ජනාධිපති බවට පත් වුනු රණසිංහ ප්‍රේමදාස දැඩි හස්තයකින් කටයුතු කරමින් ජවිපෙට නොදෙවෙනි සැහැසි බවක් පෙන්වමින් භීෂණය මගින් රජය පෙරළන්නට වෑයම් කරමින් සිටි තරුණ ජවිපෙ කාරයන් බුරුතු පිටින් මරා දමා කෙසේ හෝ එම භීෂණ රැල්ල පාලනය කළේය. මේ අතරම බටලන්ද නම් වන සුන්දර ගම්මානයක එවකට තරුණ මැතිවරයෙකුව සිටි රනිල් වික්‍රමසිංහද එක්තරා රහසිගත නිමාවක් පවත්වාගෙන යමින් ජවිපෙ සාමාජිකයන් අල්ලගෙන විත් එහි විවධ වධහිංසා දුන් බවටද මරා දැමු බවටද කට කථා ඇත.
කෙසේ වෙතත් උක්ත අතීතය වසන් කරන්නටද ප්‍රතික්‍ෂේප කරන්නට මිනිසුන්ට අමතක කරවන්නටද අදාල පාර්’ශවයන් විවිධ ක්‍රියාමාර්’ග ගනිමින් සිටිනු දැකිය හැකි විය. චේතනාව අවංක වුවත් ක්‍රමවේදය කුරිරු නිසාදෝ ලේ තැවරුනු අතීත කැළැල් මිනිසුන්ගේ මතකවලින් මකා පාලන බලයට කිට්ටු වන්නට ජවිපෙට සෑහෙන කලක් ගත විය.

දකුණේ ජවිපෙ භීෂණයට ලක්ව පීඩා විඳි මිනිසුන් පවා මෙවර ජනාධිපතිවරණයෙහි අනුරට දැවැන්ත ජයක් ලබා දීමට දායක වුයේ ප්‍රධාන ප්‍රතිවාදීන් සහ ප්‍රකට දේශපාලන පවුල් පසුබිම් ඇති සජිත් ප්‍රේමදාස සහ රනිල් සෑහෙන දුරක් පස්සට තල්ලු කරමින්ය. සිව්වැන්නට පැමිණි නාමල් රාජපක්‍ෂගේ තත්වය අතිශයින්ම ඛේදජනක විය. දුෂණයට ප්‍රසිද්ධ ඔහුගේ දේශපාලන තාත්තා, බාප්පා සහ මහප්පලාගේ කැරැට්ටුව නිසා නාමල්ට මෙම ජනාධිපතිවරණයෙහිදි ලාංකිකයන් සිය දෙනෙකුගෙන් තිදෙනෙක්වත් කැමැති වුයේ නැත.
ජය ගැනීමෙන් පසු ගත වුනු සති දෙකක පමණ කාලය තුල විවිධ අවස්ථාවල ජාතිය ඇමතූ ජනාධිපති අනුර සිය ස්ථාවරය දැඩි බව ඇගවුවද මිත්‍රශීලී රාවයක්ම සිය කථාවල පවත්වාගෙන යාමට කටයුතු කරනු දැකිය හැකි විය. ජය සමරන විට රතිඥ්ඤා දැල්වීම හෝ කලහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙස තමාට ඡන්දය දුන් මහජනතාව වෙතින් අනුර ඉල්ලා සිටි අතර ඒ අනුව අඩුවෙන්ම ජයඝෝෂා සහ උත්සව සැනකෙළි තිබුනු ජයග්‍රහණයක් බවට අනුරගේ ජය ඉතිහාස ගත විය.
දුෂණයට පිටු දැකීමට අමතරව ජාති ආගම් වෙනස්කම් දුරලා සියලු ජනකොටස් එක්ව රට ගොඩ ගැනීමට දායක විය යුතු යනු අනුරගේ රාජාසන ඉල්ලීම විය. ප්‍රතිවාදින්ට මඩ ගසන දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතුය යැයි සහ සෑම කෙනෙකුටම තම මතවාදය අනුව කටයුතු කිරීමට අයිතිය ඇත යයි අනුර සිය ඡන්ද ව්‍යාපාරයෙහි පවා අවධාරණය කරමින් සිටියේය.

2019 ජනාධිපතිවරණයෙන් ජය ගත් ගෝඨාභය රාජපක්‍ෂ බෞද්ධ සිංහළ ජාතිකත්වය ඉස්මතු කරමින් හා සුළු ජාතීන් රිදවමින් කළ රාජාසන කථාව හමුවේ ජනාධිපති අනුරගේ ඡන්දයට පෙර හා පසු ආකල්ප මෙන්ම කථා විලාසය සෑම ලාංකිකයකුගේම හදවත් දිනා ගන්නට සමත් වු බව සඳහන් කළ යුතුය.
අනුර බලයට පත් වු පසු ඔහුට සමීපවම සිටින පක්‍ෂයේ සාමාජිකයන්ගෙන් කිසිවෙකුට නොව අගමැති තනතුර ඔහු ලබා දුන්නේ ජවිපෙ සාමාජිකාවක් නොවන හා දේශපාලන අත්දැකීම් නැති හරිනි අමරසුරිය නම් කාන්තාවකටය. එසේම හනීෆ් යුසුෆ් නමැති මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා බවටද පත් කරමින් සියල්ල අනුර මවිත කළේය. කිතුනු හරිනි සහ මුස්ලිම් යුසුෆ් මෙම තනතුරු සඳහා අනුර තෝරා ගත්තේ ඔවුන්ගේ දැනුම අවංක බව සහ අධ්‍යාපනය වැනි සුසුකම් අනුව බව සිතා ගත හැකිය. අනුර ළග ජාතිවාදය නැති බවටද මෙය ධණාත්මක ඉගියකි.
අරගලය
2019 ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත් වී වසර දෙකක් යන්නට පෙරම ඔහු එම තනතුරට සුදුස්සෙක් නොවන බව රටට වැටහෙන්නට විය. නොකඩවා විදුලි කැපීම් ගෑස් සහ තෙල් හිගය රට බංකලොත් බවට ළං වීම ආදිය රටපුරා නොසන්සුන්තා ඇති කරන්නට වු අතර එය ‘2022 අරගලය’ නම් වු ඓතිහාසික මහජන නැගී සිටීමකට තුඩු දී අවසානයෙහි නැවතුනේ ගෝඨාව රටින් පළවා දැමීමෙන් පසුවය. අරගලයට සිංහළ, දමිළ, මුස්ලිම් ඇතුලු සියලුම ජනකොටස් නොමසුරුව දායක වුහ. රාමසාන් මාසයක්ද අරගල පැවති වකවානුවෙහි යෙදුනු අතර එවිට අරගලයට සහභාගී වුනු මුස්ලිම්වරුන් සිංහළ කිතුනු කතෝලික සහ දමිළ මිතුරන් සමග ඉතා එක්ව අරගල භූමියේම උපවාසය අවසන් කරන ඉෆ්තාර් වතාවත් පැවැත්වුහ.

වසරක කිහියකට පෙර දරුණු මුස්ලිම් භීතිකාවක් අවුලමින් සිටි රාජපක්‍ෂ පාලනයට මෙය දරුණු පහරක් විය. රාජපක්‍ෂ පාලනය කෙතරම් දුරට ඉස්ලාම් භීතිකාවෙන් ඔත්පලව සිටියේද යත් මුස්ලිම් මළමිනිවලටද හිංසා කරමින් කෝවිඩ් නිසා අභාවයට ගිය මුස්ලිම්වරුන්ගේ දේහ භූමදානය කරන්නට ඉඩ නොදි ඒවා බලයෙන්ම පුළුස්සා දමන්නට පවා ම්ලේච්ච වුයේ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජගත් අයතන පවා එසේ කිරීම වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් කිසිසේත් අවශ්‍ය නොවේය යයි අවධාරණය කරමින් සිටි විටය.
එමෙන්ම ජාතික ගීය දමිළ බසින් ගායනා කරන්නට රාජපක්‍ෂා අවසර නුදුන් තත්වයක අරගල භූමියෙහි සියලු ජනකොටස් එක්ව ජාතික ගීය සිංහළෙන් මෙන්ම දෙමළෙන්ද ගැයුහ. මෙසේ සියලු ජාතියට ආගම්වලට අයත් ලාංකිකයන් පමණක් නොව ආබාධිතයන් මිට්ටන් හා සමරිසියන් ඇතුලු සියලුම පාර්’ශව සමාන සහයක් අරගලයට ලබා දුන්හ. කොටි සංවිධානය පරාජය කිරීම සැමරීම රාජපක්‍ෂ රජය නොවරදවා කරමින් සිටි අතර එයට ප්‍රතිචාර ලෙසින් බෙදුම්වාදි සටනෙහි දිවි පිදු දෙමළ සිවිල් වැසියන් සිහපත් කරමින් අරගල භූමියෙහි සියලුම ජාතින් එක්ව වැඩසටහන් පැවැත්වුහ. එයට සමගාමීව පාස්කු ප්‍රහාරයෙන් දිවි පිදුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින කතෝලිකයන් සමග එක්ව උද්ඝෝෂණයක්ද එම භූමියෙහි සංවිධානය කරන ලදි. භික්ෂුන්, පාදිරිතුමන්, හින්දු පුජකයන්, මව්ලවිවරුන් ඇතුලු සියලුම ආගමික ප්‍රධානීන්ද සිය ආශීර්’වාදය සහ සහය අරගලයට ලබා දුන්හ. මෙලෙසි සියලුම ජනකොටස්වලට අයත් ලාංකිකයන්ගේ දුක සැප සියල්ලන්ම එක්ව අරගල භූමියෙහි බෙදා හදා ගන්නා ලදි.
මුලික විරෝධතාවය එල්ල වුයේ රාජපක්ෂවරුන්ට එරෙහිව වු අතර එවිට බෞද්ධ සිංහළ ජාතිකවාදය මුල් කර ගත් කටයුතු දැඩි ලෙස විවේචනයට ලක් විය. 1948 සුද්දන්ගෙන් නිදහස ලැබී්මෙන් පසු 74 වසරක ශාපයක් ලෙස පැවති බණ්ඩාරනායක, ජයවර්’ධන,වික්‍රමසිංහ, ප්‍රේමදාස සහ රාජපක්‍ෂ යන පවුල් විසින් පාලනය කරන ලද ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එහි ශාඛා මාරුවෙන් මාරුවට බලයට පත් වී රට විනාශ මුඛයට ගෙන ඒම ගැන විවේචනය කරන ලද අතර අතළොස්සකගේ වාසිය සඳහා රටවැසියන් මුලා කරමින් බෙදීමක් ඇති කළ සැටිද අවධාරණය කරන ලදි.
අරගලයට අති විශාල ජනගහනයක සහය ලැබෙන ආකාරය දුටු සජිත් එහි වාසිය ලබන්නට අරගල භූමියට පැමිණියද අරගලකරුවන් විසින් ඔහුට එළව එළවා පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ලොවට මුදා හැරියේය. එනමුත් අරගලය හොඳටම පත්තු වන්නට පෙරම එහි දිශාව මනාව අනුමාන කළ අනුර එය වෙනුවෙන් හඬ නගමින් සිටියේය. කුඩා වියෙහි දුම්රියේ සිගරට් සහ ටොෆි විකුණු අනුර ගම්බද මධ්‍යම පන්තියේ පවුලකට අයත් විය. අනෙක් අතින් සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස කොළඹ කෙසෙල් වත්තේ ඉතා දුප්පත් පවුලක කෙනෙක් වුවද පියා බලයට පත් වු විට සජිත් එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීය. ඒ අනුව සජිත්වද මිනිසුන් බලන්නට වුයේ ප්‍රභූ පන්තියේ කෙනෙකු ලෙසිනි. මේ නිසා ‘මිනිසුන් අතර මිනිසෙක්’ ලෙස අනුරට වැඩි මහජන පිළිගැනීමක් ලැබුණි.

2014 ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ දා සිට අනුර දූෂණයට සහ දේශපාලකයන්ගේ නාස්තියට එරෙහිව කතා කිරීම නිසා දක්‍ෂ කථිකයෙකු ලෙසද අනුර ප්‍රසිද්ධියට පත් විය. දකුණේ තරුණ තරුණියන් ඔහුගේ සරල එමෙන්ම හාස්‍ය දනවන විවේචනය සහිත කතා විලාසයෙන් ආකර්’ශනය කරනු ලැබුහ. දේශපාලන විරුද්ධවාදීන් ඔහුට එරෙහිව කෑ ගසමින් දිගට හරහට පහර දුන් අවස්ථාවල වචනයෙන් දෙකින් ඔවුන්ව දමනය කිරීමේ අනුරගේ වාග් කුසලතාවය ඔහුව වඩාත් ජනප්‍රිය කළේය.
අනුරගේ වඩාත්ම තීක්ෂණ දේශපාලන මොහොත එළඹුණේ 2019 වසරෙහි ඔහු ජාතික ජනබල වේගය නමින් ජවිපෙ මුල් කර ගත් සන්ධානයක් පිහිටුවු විටය. එමගින් වමට බර ඔහුගේ පක්‍ෂය ක්‍රමයෙන් මධ්‍යම ස්ථාවරයට තල්ලු විය. ජවිපෙ මූලික වශයෙන් මාක්ස්වාදී වු අතර එය කවදත් කම්මැලි ලාංකේය ප්‍රජාවට එතරම් ආකර්’ශනීය වුයේ නැත. මෙසේ මධ්‍යස්ත පිළිවෙතකට ජවිපෙ පැමිණි විට ප්‍රධාන පක්‍ෂ දෙක මත කළකිරී සිටි ඡන්දදායකයාට සලකා බැලිය හැකි විකල්පයක් බවට ජවිපෙහි නව මුහුණුවර පත් විය.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවධාරණ කර ඇති බුද්ධාගමට මුල් තැන දීම වැනි කරුණුවලදි අනුර අන් දේශපාලනඥයින්ට සමාන වු අතර සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම කෙරෙහිද ඔහුගේ අවධානය යොමු කළේය. රනිල් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ගැන සඳහන් කරන විට එය රටට වඩාත් වාසිදායක ලෙසින් සංශෝධනය කරන්නට නැවතත් අරමුදල සමග සාකච්ඡා පවත්වන බව අනුර ඡන්ද ව්‍යාපාර වේදිකාවල පැවසුවේය. එමෙන්ම බහුතර සැකය බිඳ දමමින් ජාත්‍යන්තර සමග එක්ව කටයුතු කරන බවට සහතික වු අනුර තමා බලයට පත් වීම ඉන්දියාවට තර්’ජනයක් නොවනු ඇත යයිද නව දිල්ලියට ඉගි කළේය.
අනුරගේ පක්‍ෂය සේම අනුර බලයට ගෙනා හවුල්කාරයන්ද නාස්තිය හා දූෂණය තුරන් කිරීම විෂයයෙහි එකසේ තිරව සිටිති. 2015 ජනාධිපතිවරණයෙන් ජනප්‍රිය නායකයෙක් ලෙස නම් දරා සිටි මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වුයේය. පසුව 2019 වසර පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රි – රනිල් හවුල පරදවා නැවතත් රාජපක්‍ෂ කෙනෙක් – පසුව ගෝඨාභය – බලයට පත් විය.දැන් අනුර කුමාර දිසානායක බලයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරයා හැටියටය. බලයට පත්ව සතියකින් දෙකකින්ම අනුර ගැන මහජන ප්‍රසාදය වැඩි වන්නට වී තිබේ. රටට අවශ්‍ය සැබෑ වෙනස ගෙන එන්නට හැකි එකම පුද්ගලයා ඔහුය යන මතය දීපව්‍යාප්ත වෙමින් තිබෙනු දැකිය හැකිය.
කෙසේ වෙතත් මහජන උපේක්‍ෂා අනුර ඉටු නොකළේ නම් රජ පුටුවට අනුරව ගෙන ආ එම රැල්ල විසින්ම ඔහුව ගිල ගන්නටද ඉඩ ඇත. ඒ නිසා අනුර සහ සමාගම කටයුතු කළ යුත්තේ දැලි පිහියෙන් කිරි කන්නා සේ අතිශය ප්‍රවේශමිනි.
මුලාශ්‍රය – අල් ජසීරා