සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට මෝසමක්

0
60

NEWSNOW| –  අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදෙස්ගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් වී තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් එම මෝසම ඉදිරිපත් කර ඇති බව වාර්’තා වේ.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළව එම මෝසම ඉදිරිපත් කර තිබේ.

‍මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.

ඊට අදාළ ලිපිය ඊයේ (07) දිනයේ දී ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව ඔහුගේ නීතීඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්විම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ එම දැනුම් දීම සිදුකර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් අතර වගඋත්තර‍කරු තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බැවින් අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් සලකාබැලීමට අවශ්‍ය නොවන බව පාර්ශ්වකරුවන් අධිකරණය හමුවේ දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.ඒ.කේ විජේරත්න මහතා පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත එවක ජනාධිපතිවරයා විසින් ගනුලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබුණි.